පොලිසියේ ඉදිරි ගමන් මග කෙසේ විය හැකිදැයි විමසිය යුතු මොහොතක් උදා වී ඇත. ඊට ආසන්තම හේතුව වන්නේ පොලිස් දෙපාර්තමෙන්තුවට අවුරුදු 159 ක් සම්පුර්ණ වීමය. ඒ නිමිත්තෙන් සංවත්සරය යෙදී තිබුණේ සැප්තැම්බර් මස 03 වැනි දාටය.

ඒ හැරුණු විට නව පොලිස්පති වරයෙකු පත්වීමද, පොලිසියේ අනාගතය ඔහු යටතේ කෙසේ වනු ඇතිදැයි විමසා බැලීමට හොද නිමිත්තකි. නිතිඥවරයකු ද වන ප්‍රියන්ත වීරසුරිය මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස අලුත් ආණ්ඩුව යටතේ පත් වීම ද තවත් විශේෂත්වයකි. 

අලුත් ආණ්ඩුව බලයට පත්වුවේ ක්‍රම වෙනසක් සදහාය. එය පුනරුදය ලෙස හදුන්වන ලදුව, ජනමතයෙන් ඊට ඉහළම අනුමැතියක් ද ලැබිණි. 

අනෙක් අතින්, නව පොලිස්පති වරයා පත්වන්නේ මෙතෙක් සිටි 36 වැනි පොලිස්පති වරයා මෙරට පොලිස් ඉතිහාසයේ බරපතලම චෝදනා රැසකට මුහුණ දෙමින් , තනතුර අහිමිවීමේ පසුබිමක් තුළය. ඒ හේතුවෙන් සංසන්දනාත්මකව මෙම ආණ්ඩුව යටතේ, නව පොලිස්පතිවරයා ගෙන් පොලිසියේ කැපීපෙනෙන ගුණාත්මක පරිවර්තනයක් අපේක්ෂා කිරීම හේතු යුක්තය. 

එහෙත් පොලිසියේ 159 වන සංවත්සරය ඉතිහාසයට එක්වන්නේ ඒ සියලු අපේක්ෂා බිද දැමු තවත් අවස්ථාවක් ලෙසිනි. අවම වශයෙන් එම පොලිස් දින සමරුවේදී හෝ ඒ ආශ්‍රිතව පැවති වෙනත් උත්සව අවස්ථාවක හෝ පුරවැසි අපේක්ෂා පණගන්වන ප්‍රකාශක් හෝ කිරීමේ හැකියාව වත්මන් පාලනය සතුව  නොතිබිණි . 

‘ පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් ‘ නමැති ජාජබ මැතිවරණ ප්‍රකාශනය මගින් ජාජබය ප්‍රති‍ඥා දී තිබුණේ පොලිසිය මිත්‍රශීලී හා මහජනතාවට  සමීප සේවාවක් බවට පත්වන බවටය.

 එහෙත් ජාජබ පාලනය යටතේ පොලිසියෙහි ස්වාධීනත්වයට පළමු හා බරපතලම හාණිය කර ගත්තේ පැහැදිලි චෝදනා සහිත සහ දේශපාලන පක්ෂපාතිත්වයන් සනාථව ඇති විශ්‍රාමික දෙපලක් වු රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙපළ පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ඉහළම තනතුරු සදහා පත්කර ගැනීමෙනි. 

ඒ හැරුණු විට පොලිස් සේවයේ ස්වාධීනත්වය හෝ මිත්‍රශීලිත්වය හෝ ජනහිතවාදය පුළුල් කෙරෙන කිසිදු ප්‍රතිසංස්කරණ  පියවරක් මේ දක්වා ක්‍රියාවට නගා හෝ සැලසුම් කර හෝ තිබෙන බවක් ද පෙනෙන්නට නැත. 

 නව පොලිස්පතිවරයා තනතුරෙහි වැඩ භාර ගැනීමේ උණුසුම මැද කළ ප්‍රකාශයකින් ද සනාථ වුවේ තවදුරටත් මෙරට පොලිසිය  සතුව තිබෙන්නේ යල්පැනගිය සහ පසුගාමී දෘෂ්ටියම බවය. එහිදී ඔහු  ගෙදරදී හෝ පාසලේදී හෝ දරුවන්ට ශාරීරිකව දඩුවම් දීම සාධාරණීකරණය කළේ කිසිදු සැක සංකාවකින් තොරවය. තමන් ‘ගුටි කා හැදුනු ‘ චරිතයක් බව ඔහු කියන්නේ අභිමානයෙනි. 

 ඔහුගේ මෙම ප්‍රකාශය පුද්ගලික මත පළකිරීමක් ලෙස නොව, පොලිස්පති ධූරයෙහි වැඩ භාර ගැනීමේ උද්‍යෝගය අතර කරන ලද ප්‍රකාශයක් ලෙස ගත්විට එය මෙරට පොලිසියේ ඉදිරි දැක්ම සංකේතාත්මකව විදහා දක්වන ප්‍රකාශයක් ලෙස සැලකිමට සිදුවේ. එය පරණ පොලිසියෙන් දශමයක් වත් ඉදිරියට ගිය පොලිසියක් නොවේ. 

ඒ හැරුණු විට ජාතික වශයෙන් අවධානය දිනාගත් විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ පවා මෙම පොලිසිය හැසිරී ඇත්තේ බෙහෙවින් විවාද සම්පන්න ලෙසය , පක්ෂග්‍රාහී බව පැහැදිලිවම ප්‍රකාශයට පත්වන ලෙසය. 

   මැයි දිනය නිමිත්තෙන් කොළඹට පැමිණි ජාජබ පෙළපාලිකරුවන්ගේ බස් රථ ප්‍රසිද්ධියේම අධිවේගී මාර්ගයේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තොරතුරු නැත. එය තරමක් පැරණි සිදුවීමකි. අලුත්ම සිදුවීම වාර්තා වුයේ ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්යාලයක් සම්බන්ධයෙන් ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ඇතිවු ගැටුමේ දීය. එහිදී පොලිසිය අතිශය පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බවට පැහැදිලි චෝදනා පොලිසිය වෙත එල්ල වෙමින් ඇත. මේ වසරකට ආසන්න කාලයක් තුළ පොලිසියට එල්ල වු චෝදනා ගණනාවක් අතරින් දෙකක් පමණි. ඒ හැරුණු විට ප්‍රතිපත්තිමය හා ව්‍යූහාත්මක ගැටලු එලෙසම පවතී. 

මේ සියලු සිදුවීම් පෙලගස්වමින් විමසා බලද්දී මෙරට පුරවැසියාට දකින්නට ලැබෙන්නේ මෙපමණ කලක් තමන් ඉදිරියේ තිබුණු පොලිසියම මිස අලුත් යමක් නොවේ. 

දේශපාලන වේදිකාවල හඩනැගුනු පුනරුදය හෝ ක්‍රමවෙනස පිළිබඳ කිසිදු සළකුණක් මේ පොලිසියෙන් පිලිබිඹු නොවේ. 

වඩාත් කණගාටුදායක තත්වය වන්නේ ඒ පිළිබඳ කිසිදු උත්සාහයක් , හෝ සංවාදයක්ද එහිලා දක්නට නොලැබීමය. 

36 වැනි පොලිස්පතිවරයාගේ යුගයෙහි දුර්ගුණ කීමෙන් පමණක් 37 වන පොලිස්පතිවරයාට යහපත් පොලිසියක් නිර්මාණය කිරීමට නොහැකිය. සංකල්පීයවත් ව්‍යූහාත්මකවත් තවම තිබෙන්නේ 36 වැන්නාගේ පොලිසියම බව ඉහත කී සියලු සිදුවීම මගින් නිරූපණය වන බැවිනි. 36 වැන්නා පොලිසිය තුළ ප්‍රකට කළ සියලු දුර්ගුණ අවස්ථාව   ලද මොහොතක ප්‍රකට කිරීමේ විභවය තවමත් අලුයට ගිනි පුපුරුමෙන් මේ පොලිසියෙහි නිරුපද්‍රිතය. 

මෙම තත්වය වෙනස් කරන්නේ කෙසේද යන සංවාදය වහා ආරම්භ කළ යුතුව ඇත. දේශපාලන වේදිකාවේ හඩ නැගුනු ක්‍රම වෙනසට හා පුනරුදයට සැබෑ අර්ථයක් දීමෙහිලා පොලිසිය වැනි ආයතනයක සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ, කේන්ද්‍රීය ලක්ෂයක් වේ. පොලිසිය යනු මෙරට සමාජ ජීවිතයේ එතරම් තීරණාත්මක හා බලව්පෑම් සහගත ආයතනයක් බැවිණි. පොලිසියේ 159 වන සංවත්සර ඒ සංවාදය ඇරඹීමට උචිතම දිනයකි.