බලසතුන්, බලසතු පැලැන්ති, නීතියේ ආධිපත්‍යය, සහ යුක්තිය පසිඳලීම
දේශපාලන සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සහ සමාජ න්‍යාය තුළ elite යන පදයට සිංහල ව්‍යවහාරය වනුයේ ‘ප්‍රභූ පැලැන්ති’ යන්නය. එහෙත් elite යන්නට මා යෝජනා කරන්නේ ‘බලසතු පැලැන්ති’ යන පදය ය. ‘වරදානිත පැලැන්තිය’ කියූවත් සුදුසුය. ‘එලිත් පැලැන්තිය’ කියූවත් නරක නැත. මන්ද ‘ප්‍රභූ පැලැන්තිය’ යන්න elite යන්නෙහි හරයාත්මක අන්තර්ගතය නිසිලෙස ප්‍රකාශ නො කරන හෝ නො අඟවන හෙයිනි. ‘ප්‍රභූ’ යන්නට ශ්‍රී සුමංගල ශබ්දකෝෂය දී ඇති “ පොහොසත්; සමර්ථ” යන නාමකරණය ද මෙහි දී සැලකිල්ලට ගත්තෙමි. elite යන්නෙහි නිරුක්ති අර්ථ කෙරෙහිද අවධානය යොමු කළෙමි. (The term elite originates from the French élite (“the chosen” or “the select”, derived from the Latin eligere (“to choose”). (Oxford English Dictionary, 2024; Bottomore, 1993.)
ඒ කෙසේ වෙතත් අප ඉහත සඳහන් කළ විෂයන් තුළ බලසතු පැලැන්තිය (elite) යන සංකල්පයට ඇත්තේ කේන්ද්‍රීය ස්ථානයකි. පුළුල් ලෙස අර්ථ දක්වා ඇති පරිදි, බලසතු පැලැන්තිය යනු සමාජයක් තුළ බලය, බලපෑම, ධනය, කීර්තිය, දැනුම, හෝ අධිකාරියේ අසමානුපාතික කොටසක් හිමි සාපේක්ෂව කුඩා පුද්ගලයින් කණ්ඩායමකි. ඔවුන්ගේ වරප්රසාදිත තනතුරු නිසා, බලසතු පැලැන්තියට දේශපාලන තීරණ, ආර්ථික ප්‍රතිඵල, සමාජ සම්මත, සහ සංස්කෘතික වටිනාකම් හැඩගැස්වීමට සාමාන්‍ය පුරවැසියන්ට වඩා වැඩි හැකියාවක් ධාරිතාවක් ඇත. ප්රජාතන්ත්රවාදී පද්ධති බොහෝ විට ජනතා පරමාධිපත්‍යය පිළිබඳ මූලධර්මය මත පදනම් වුවද, එලිත් න්‍යායවාදීන් තර්ක කරන්නේ සියලුම සමාජයන්හි බලය ජනගහනය අතර සමානව බෙදා හැරීමට වඩා සුළුතරයක් අතේ සංකේන්ද්‍රණය වන බවයි.
බලසතු පැලැන්තිය පිළිබඳ ක්රමානුකූල අධ්‍යයන දහනව වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේදී විල්ෆ්රෙඩෝ පැරේටෝ (Vilfredo Pareto) සහ ගේටානෝ මොස්කාගේ (Gaetano Mosca) කෘති හරහා මතු විය. පැරේටෝ (1935) තර්ක කළේ සෑම සමාජයක්ම බලසතු පැලැන්තිය සහ බලසතු නොවන පැලැන්තිය අතර බෙදීම් සහිත වන බවයි. ඔහුට අනුව, බලසතු/එලිත් පැලැන්තිය යනු ඔවුනට අදාළ ක්ෂේත්රවල විශිෂ්ටත්වය දක්වන සහ ඉහළම බලපෑම් සහිත තනතුරු දරන පුද්ගලයින් ය. පැරේටෝ දේශපාලන බලය සෘජුවම ක්‍රියාත්මක කරන පාලක වරදානිතයින් සහ ආර්ථික, බුද්ධිමය, මිලිටරි, ආගමික, හෝ සංස්කෘතික ආයතන හරහා බලපෑම් කරන පාලක නොවන බලසතුන් අතර වෙනස හඳුනා ගත්තේය. සමාජ ස්ථාවරත්වය රඳා පවතින්නේ බලසතු පැලැන්තියේ අඛණ්ඩ සංසරණය මත බවත්, එමඟින් නව බලසතුන්, බල තනතුරුවල පිරිහෙන අය ප්‍රතිස්ථාපනය කරන බවත් ඔහු තවදුරටත් තර්ක කළේය.
ඒ හා සමානව, මොස්කා (1939) කියා සිටියේ සියලුම සමාජ පාලක සුළුතරයක් සහ පාලිත බහුතරයක් අතර බෙදී ඇති බවයි. පාලක සුළුතරයට දේශපාලන ආයතන සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ආධිපත්‍යය දැරීමට හැකි වන පරිදි සංවිධානාත්මක වාසි, සම්පත්, සහ අධිකාරිය ඇත. මොස්කාට අනුව බලසතුන්ගේ පැවැත්ම ව්‍යතිරේකයක් නොව සමාජ හා දේශපාලන ජීවිතයේ පොදු/විශ්වීය ලක්ෂණයකි. සමාජයක් ප්රජාතන්ත්රවාදී, ඒකාධිපති, ධනවාදී, හෝ සමාජවාදී ද යන්න නොසලකා, සාපේක්ෂව කුඩා කණ්ඩායමක් ප්‍රධාන ආයතන මත පාලනය නිරන්තරයෙන් ක්‍රියාත්මක කරයි.
“බල පැලන්ති” (power elite) යන සංකල්පය හඳුන්වා දුන් සී. රයිට් මිල්ස් (C. Wright Mills,1956) විසින් බලසතු න්‍යාය තවදුරටත් වර්ධනය කරන ලදී. ඔහුට අනුව නූතන සමාජ පාලනය කරනු ලබන්නේ ප්‍රධාන ආයතනවල, විශේෂයෙන් දේශපාලන, ආර්ථික, සහ හමුදා අංශවල අණ දෙන තනතුරු (the commanding positions) දරන අන්තර් සම්බන්ධිත බලසතුන් විසිනි. මෙම බලසතුන් පොදු අභිලාශ, සමාජ පසුබිම්, සහ ජාල බෙදා ගන්නා අතර, එමඟින් සමාජයට දුරදිග යන ප්‍රතිවිපාක ඇති තීරණවලට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාව ලබා ගනියි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්රජාතන්ත්රවාදී ආයතන බොහෝ විට ක්‍රියාත්මක වන්නේ බලසතු අවශ්‍යතා මගින් ස්ථාපිත කරන ලද සීමා සහ කොන්දේසි තුළ ය.
බලසතුන් වර්ග කිහිපයකි. ඒ දේශපාලන (ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු පළාත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, සහ රජයේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය කටයුතුවලට බලපෑම් කරන ජ්‍යෙෂ්ඨ සහ තීරණාත්මක දේශපාලන නායකයින් හෝ පාර්ශවකරුවන්), ආර්ථික (ධනවත් ව්‍යාපාර හිමිකරුවන්, ආයතනික විධායකයින්, මූල්‍යකරුවන් සහ ආර්ථික සංවර්ධනය සහ සම්පත් වෙන් කිරීම හැඩගස්වන ප්‍රධාන ආයෝජකයින්), නිලධර (ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයින් සහ පරිපාලන නිලධාරීන්), හමුදා (ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික තීරණ ගැනීම සඳහා වගකිව යුතු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සහ ආරක්ෂක නායකයින්), සංස්කෘතික, සහ බුද්ධිමය (ශාස්ත්රඥයින්, ආගමික නායකයින්, මාධ්‍ය හිමිකරුවන්, ලේඛකයින්, සහ මහජන මතය, දැනුම නිෂ්පාදනය සහ සමාජීය වටිනාකම් කෙරෙහි බලපෑම් කරන මහජන බුද්ධිමතුන්) බලසතුන් වශයෙනි.
ශ්‍රී ලාංකික සන්දර්භය තුළ, බල පැලන්ති ඓතිහාසිකව දේශපාලන පවුල්, ජ්‍යෙෂ්ඨ නිලධාරිවාදී කව, ව්‍යාපාරික ප්‍රජාවන්, හමුදා ආයතන, සහ බලගතු ආගමික සංවිධාන වලින් මතු වී ඇත. තරඟකාරී මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදී ආයතන පැවතුනද, දේශපාලන හා ආර්ථික බලය බොහෝ විට අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරීන් කුඩා කණ්ඩායමක් අතර සංකේන්ද්‍රණය වී ඇති බව නිරීක්ෂණය කළ හැක. දේශපාලන පෙළපත්, බලගතු ව්‍යාපාරික කණ්ඩායම්, සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආණ්ඩුකරණය හැඩගැස්වීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයී. එහි ප්‍රතිඵලයක් ලෙස, තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පුළුල් ජන මනාපවලට නොව ඊට වඩා බල පැලන්තිවල අවශ්‍යතා පිළිබිඹු කරයි.
මෙම බල පැලන්ති ක්‍රියාත්මක වනුයේ අනුබද්ධ ජාල වශයෙනි. ඒ එකිනෙක අතර සහයෝගය, බෙදාහදා ගැනීම්, ආරක්ෂා කිරීම්, සහ ශක්තිමත් කිරීම් අනිවාර්ය ය. එක අතකට එසේ ක්‍රියාත්මක වන්නේ සහචර කල්ලි හෝ ජාල වශයෙනි. නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳලීම, සමානාත්මතාව, මූලික අයිතීන්, මානව හිමිකම්, ළමා අයිතීන්, අත්අඩංගුවට ගැනීම්, සාධාරණ විමර්ශන, සහ තවත් බොහෝ දේවල් බල පැලන්තියටම වාසි සහ රැකවරණය ලැබෙන ආකාරයටම හැසිරවෙන්නේ එකී බල පැලන්ති ජාලවල සහයෝගය ආරක්ෂාව සහ අනුග්‍රහය නොඅඩුව රහස්‍යව සහ එළිපිටම ලබා දීම මගිනි. අටමස්ථාන සිද්ධිය වැනි ඒවා තේරුම් ගත යුත්තේ මතු කී න්‍යායික, සංකල්පීය, සහ ප්‍රයෝගික අවබෝධය මත පදනම් වෙමිනි.
නමුත්, බල පැලැන්තිය පිළිබඳ සංකල්පය නිෂේධාත්මක වචන වලින් පමණක් තේරුම් නොගත යුතුය. බලසතු තත්ත්වය යනු සූරාකෑම, දූෂණය හෝ අධිකාරීවාදය යන්නෙන් අනිවාර්යයෙන්ම අදහස් නොවේ. ඒ වෙනුවට, එය සමාජය තුළ බලපෑම් සහ අධිකාරියක් ඇති ස්ථානයක් ගැන සඳහන් කරයි. බල පැලැන්තියට නායකත්වය, නවෝත්පාදනය, විශේෂඥතාව සහ රාජ්‍ය සේවය හරහා ධනාත්මකව දායක විය හැකිය. කෙසේ වෙතත්, කුඩා කණ්ඩායමක් අතර බලය සංකේන්ද්‍රණය වීම ප්රජාතන්ත්රවාදී වගවීම, දේශපාලන සමානාත්මතාවය සහ සමාජ යුක්තිය සඳහා අභියෝග ඇති කළ හැකි බවට එලිත් න්‍යායවාදීන් අනතුරු අඟවයි.
ඉහත පැහැදිළි කිරීම් අනුව බලසතු හෝ බල පැලැන්ති යනු සමාජය තුළ සැලකිය යුතු බලයක් සහ බලපෑමක් ඇති සුළුතර කණ්ඩායම් වෙති. පැරේටෝ සහ මොස්කාගේ සම්භාව්‍ය න්‍යායන්හි සිට මිල්ස්ගේ නූතන විශ්ලේෂණය දක්වා, දේශපාලන, ආර්ථික, සහ සමාජීය ප්‍රතිඵල හැඩගැස්වීමේදී බලසතු පැලැන්තියේ භූමිකාව කේන්ද්‍රීය එකකි. එබැවින් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින සමාජ දෙකෙහිම ආණ්ඩුකරණය, ප්රජාතන්ත්රවාදය, රාජ්‍ය බලය, සහ සමාජ වෙනස්කම් විශ්ලේෂණය කිරීම සඳහා බලසතු/බල පැලැන්තියේ ස්වභාවය සහ බලපෑම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.
විමර්ශන:
සොරත, වැලිවිටියේ (2011) ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, සිංහල-සිංහලාර්ථ, ද්විතීය භාගය, කොළඹ 10. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
Bottomore, T. B. (1993). Elites and Society (2nd ed.). London: Routledge.
Mills, C. W. (1956). The Power Elite. New York: Oxford University Press.
Mosca, G. (1939). The Ruling Class. New York: McGraw-Hill.
Oxford English Dictionary. (2024) Elite. Oxford University Press.
Pareto, V. (1935). The Mind and Society. New York: Harcourt, Brace and Company.
Scott, J. (2008). Modes of Power and the Re-conceptualization of Elites. The Sociological Review, 56(1), 25–43.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!