”දඹුල්ලේ වැසිකිලියට යන්න අපට අද වට්ටක්කා කිලෝ තුනක් විකුණන්න වෙලා..”
ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත තම කෘෂි නිශ්පාදන අලෙවි කර ගැනීම සඳහා පැමිණි
ගොවියෙක් ජනමාධ්‍ය අමතා කළ ප‍්‍රකාශයකි. ඔහු මෙම ප‍්‍රකාශය කළේ ඔක්තෝබර් මස 16 වැනිදාය. එම
දවසෙහි මේ ප‍්‍රකාශය කිරීමේ විශේෂත්වයක් ඇත. ඊට හේතුව ඔක්තෝබර් 16 යනු ලෝක ආහාර
සුරක්ෂිත භාවය පිළබඳ දිනය වූ බැවිණි.
එදින මේ නිමිත්තෙන් කොළඹ කේන්ද්‍රීයව ”සශ්‍රීක” ජාතික උත්සවයක් පැවැත්විණි. දියත උයනේ පැවති
මෙම උත්සවය අමතා කෘෂිකර්ම අමාත්‍යවරයා, කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා
ඇතුළු රාජ්‍ය තන්ත‍්‍රයේ නියෝජිතයන් කළ ප‍්‍රකාශයන්ට ජනමාධ්‍ය ප‍්‍රමුඛත්වයක් ලබාදුන් නමුත්, දඹුල්ලේ
ගොවියා කළ ප‍්‍රකාශය හුදෙක්, හාස්‍ය රසයෙන් ඔබ්බට ගියේ නැත. නමුත් මේ දෙපාර්ශවයෙහි
ප‍්‍රකාශයන් එක පෙළට තබා සසඳා බැලූ විට ඉන් පැන නගින ප‍්‍රභේදනයෙන් පමණි, මේ රටේ ලෝක
ආහාර දිනයේ යථාර්ථය වටහා ගැනීමට හැකි වන්නේ.
ලාල් කාන්ත සහ අනිල් ජයන්ත යන ඇමතිවරු ඇතුළු රාජ්‍ය තන්ත‍්‍රයේ නියෝජිතයෝ ආහාර
සුරක්ෂිතතාවයේ මෙන්ම ප‍්‍රමාණවත් ආහාර ලබාගැනීම සඳහා මිනිසාට ඇති අයිතිය සහතිකවීමේ
වැදගත්කම මෙහිදී මැනවින් අවධාරණය කළහ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ
නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය මහජනයා සඳහා පැවති ප‍්‍රදර්ශනයකින්ද
සමන්විත විය. මෙම ප‍්‍රදර්ශනය මගින් ඉදිරිපත් කර තිබූ අංඟ අතර දේශගුණික ස්මාර්ට්
කෘෂිකර්මාන්තය, තිරසාර සම්පත් කළමනාකරණය, හා අඩු සම්පත් ප‍්‍රමාණයක් භාවිතා කරමින් ඉහළ
අස්වනු ප‍්‍රමාණයක් ලබාගැනීමේ ක‍්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම් ආදියද විය.
එහෙත් මෙම ප‍්‍රදර්ශනය මගින් ප‍්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ දැනුම සහ එහිදී අදහස් පළකළ මැති
ඇමතිවරු හා විද්වතුන් ඉදිරිපත් කළ සංකල්ප සමග දඹුල්ලේ ගොවියා කළ ප‍්‍රකාශය සසඳා බලනවිට
පිළිබිඹුවන්නේ ඉහත සංකල්පයන්ට සපුරා වෙනස් යථාර්ථයකි.
දඹුල්ලේ ගොවියා කියා සිටියේ තම කෘෂි නිශ්පාදන සඳහා නිසි මිලක් නොලැබෙන නමුත් නිෂ්පාදන
පිරිවැය ඇතුළු අනෙකුත් එදිනෙදා වියදම් සඳහා දැරීමට සිදුවන වියදමෙහි කිසිදු අඩුවක් සිදුවී නැති
බවකි.
”වට්ටක්කා කිලෝවක මිල රුපියල් 20 සිට 30 පමණ දක්වා ප‍්‍රමාණයකට පහළ බැස ඇති නමුත්,
ප‍්‍රවාහන වියදම්, සේවක වියදම්, පොහොර කෘමිනාශක වියදම් සියල්ල ඉහළ මට්ටමක පැවතීම
හේතුවෙන් ගොවියා බරපතල දුෂ්කර තත්වයකට පත්ව සිටින බව ජනමාධ්‍ය අමතමින් ඔහු කියා
සිටියේය.
”ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලියට යන්න රුපියල් 100/- ක ටිකට් පතක් කඩනවා. ඒක ගන්න නම්
වට්ටක්කා කිලෝ තුනක් විතර විකුණන්න ඕනෑ” යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.
මෙදින රූපවාහිනී මාධ්‍ය විසින් විකාශනය කරන ලද රූපරාමු මගින් දක්නට ලැබුනේ දඹුල්ල ආර්ථික
මධ්‍යස්ථානයෙහි විකුණාගත නොහැකිව ඉවත දමන ලද ගෝවා ඇතුළු වෙනත් එළවළු වර්ග නිදැල්ලේ
යන ගවයන් ආහාරයට ගනිමින් සිටින ආකාරයයි.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ ප‍්‍රශ්නයට මුහුණදුන් ගොවියෙක් ඌව ප‍්‍රාදේශීය
සමාජ මාධ්‍ය නාලිකාවකට අදහස් දක්වමින් තමන් මුහුණදී සිටින අර්බුදය පැහැදිලි කළේ මෙසේය.
”කිසිම සැලසුමකින් තොරව පිටරටින් අල ගෙන්වපු නිසා මේ පළාතේ ගොවීන් හැමෝම අල වගාවෙන්
අයින්වෙලා එළවලූ වවන්න පටන් ගත්තා. මේ තරම් එළවලූ මිළ පහළ ගියේ ඒ නිසයි. දැන් එළවලූ
ගොවීන් සේරම අනාථයි. පාන් ගෙඩියක් ගන්න ගෝවා කිලෝ තුනක්වත් විකුණන්න ඕනෑ. දවසේ
පඩියට කැරට් අල ගෝනියක්වත් විකුණන්න ඕනෑ.”
සෑම ගොවියෙක්ම පාහේ තමන් මුහුණදී සිටින අර්බුදය මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කළේ එසේය.
දඹුල්ල සහ ඌව පළාත ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ගොවි ජනයා තම තමන් මුහුණදෙමින් සිටින
අර්බුදයේ තතු එසේ ප‍්‍රකාශ කරන අතර කොළඹ පැවැති ආහාර සමළුවේ අදහස් දැක්වූ මැති ඇමතිවරු
හා විද්වතුන් නවීන හා ආචාරධාර්මික කෘෂිකර්මයක අවශතාවයත් ඒ සඳහාවන මං සඳහාත් අදහස්
දැක්වූහ.
ආහාර නිශ්පාදනය ඇතුළු රටෙහි නිෂ්පාදන ක‍්‍රියාවලීන් සමාජය පිළිගත් ආචාරධර්මානුකූලව
සිදුවන්නේදැයි ලෝකය ප‍්‍රශ්න කරන බව මෙහිදී කියා සිටි කම්කරු අමාත්‍ය සහ මුදල් ක‍්‍රමසම්පාදන
නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි ”පොහොසත් රටක්
හා ලස්සන හෙටක් ” තේමාව යටතේ ආර්ථික ප‍්‍රතිපත්ති රාමුව තුළ ඒ සියළු කරුණු ආවරණය වන බව
කියා සිටියේය. ඒ පසුබිම තුළ සියළු දෙනා එක්ව ක‍්‍රියා කිරීම මගින් ආහාර සුරක්ෂිතතාවය තහවුරුවන
හෙට දවසක් ගොඩනැගිය හැකිවනු ඇතැයිද ඔහු තම විශ්වාසය පළ කළේය.
කෙසේ වෙතත් ලාල් කාන්ත අමත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් ආහාර සුරක්ෂිතතාවයට එල්ල වන
අභිහෝග කිහිපයක් ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් ඉදිරිපත් කළේය. ඒ අභියෝග අතරින් ඔහුගේ වැඩි
අවධානය යොමුවූයේ කෘෂි නිෂ්පාදන විශාල වශයෙන් අපතේ යාමෙහි ගැටළුව පිළිබඳවය. වෙළඳපොල
උච්ඡුාවචනයන් පිළිබඳ නිසි අගැයුමකින් තොරව සිදු කරන කෘෂිනිශ්පාදන සැපයුම ඉහළයාමෙන්
ගොවීන් මුහුණදෙන අර්බුදකාරී තත්වය මෙහිදී ඇමතිවරයාගේ අවධානයට යොමුවූයේ නැත. එය රජය
වගකිවයුතු හේතුවකි. වෙළඳපොල අවශ්‍යතා අනුව භෝග නිෂ්පාදනය සඳහා නිසි මගපෙන්වීමක් මත
තොරතුරු සම්පාදනයක් සිදු නොවීම ඊට බලපෑ එක් හේතුවකි. දේශීය වෙළඳපොලට හා
කෘෂිනිෂ්පාදකයාට අහිතකර ලෙස නිසි අධ්‍යයනයකින් තොරව සිදු කරන කෘෂි නිෂ්පාදන
ආනයනය තවත් හේතුවකි.
ඉහත ප‍්‍රකාශයට පත්වූ දඹුල්ල හා කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ආශ‍්‍රිත ගොවීන්
මුහුණදුන් අර්බුදයට එම හේතු සියල්ල බලපා තිබිණි. එහෙත් රජය වගකිවයුතු මේ ප‍්‍රතිපත්තිමය ගැටළු
පිලිබඳ ඇමතිවරයාගේ හෝ වෙනත් වගකිවයුතු ප‍්‍රධානීන්ගේ අවධානය යොමුවූයේ නැත. ඒ වෙනුවට
ආහාර භෝග නිෂ්පාදනයේදී මේ වනවිට ගොවියා මුහුණදෙන ගැටළු කිහිපයක් ඔහු මෙසේ අවධාරණය
කර තිබිණි.
”කෘෂි ආහාර නිශ්පාදන වලින් 30%ක් වන සතුන් නිසා හානි වෙනවා. ඒ ප‍්‍රශ්නයට විසඳුමක් නෑ. ඒ
හැරුණු විට වෙනත් වෙනත් විවිධ හේතු නිසා රටේ විශාල ආහාර ප‍්‍රමණයක් පරිභෝජනයට පෙර
අපතේ යනවා.” එසේ අපතේ යන තවත් අදියරක් ලෙස ඔහු මෙහිදී හඳුන්වා දුන්නේ ප‍්‍රවාහණයයි.
මෙහිදී මතුවන ප‍්‍රශ්නය වන්නේ ආහාර සුරක්ෂිතාතාවය වෙනුවට අපතේ යාම වර්ධනය වීමට බලපාන
හේතු පාලනය කිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර කවරේද යන්නයි.
ඒ වෙනුවට පසුගිය පාලන යුගයකදී ප‍්‍රවාහණයේ සිදුවන කෘෂි නිෂ්පාදන අපතේ යාම අවම කිරීම සඳහා
ප්ලාස්ටික් බඳුන් යොදා ගැනීමට ගොවීන් පෙළඹවූ අවස්ථාවක එකල විපක්ෂයේ සිටි වත්මන් පාලක
පක්ෂය ඊට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අයුරු ඉතිහාසයේ සටහන්ව තිබේ.
අදත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙවැනි ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කරන බව පෙනෙන්නේ
විපක්ෂ දේශපාලන මානසිකත්වයෙන් යුතුවදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය.
ඒ අදත් ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රශ්න මතු කිරීමට හා විවේචනයට සීමාවන බවක් පෙනෙන්නට ඇති
බැවිණි. මෙතෙක් තමන් හඳුනාගත් සහ හඬනැගූ ප‍්‍රශ්නවලට විසඳුම් සැපයීමේ වගකීම අදවන විට
ඇත්තේ තම අතෙහි බව වටහා ගනිමින්, මෙම මැති ඇමතිවරු ඇතුළු රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඊට
විසඳුම් සැපයීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් එම තීරණ ක‍්‍රියාවට නැගීමටත් වහා
මැදිහත්විය යුතුව ඇත.

images courtesy – Vijaya publications