නීතිය නැවීම” යන්නෙන් සරලව අදහස් කරන්නේ නීතිය සෘජුවම කඩ නොකර, එහි වචනාර්ථය, හිඩැස්, ක්‍රියාපටිපාටි, හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන අරමුණක් සඳහා තමන්ට වාසිදායක ආකාරයෙන් භාවිත කිරීම සහ නීතිය අනුවම යමින් වෙනස් කිරීමයි. එය නීතිය උල්ලංඝනය කිරීම සහ නීතියට අනුකූලව ක්‍රියා කිරීම අතර ඇති අළු පැහැති ප්‍රදේශයක් ලෙසද දැකිය හැකිය. මෙහි වැදගත් කරුණ වන්නේනීතිය කඩ කිරීම” සහ “නීතිය නැවීම” එකම දෙයක් නොවීමයි. නීතිය කඩ කිරීමේදී නීතියේ තහනමක් සෘජුවම උල්ලංඝනය කෙරේ. නමුත් නීතිය නැවීමේදී සිදුවනුයේ බොහෝ විට නීතියේ වචනාර්ථය හෝ ක්‍රියාපටිපාටිය පිටතින් පිළිපදින බව පෙන්වමින්, එහි අරමුණ හෝ සාධාරණත්වය දේශපාලන වාසියක් සඳහා විකෘති කිරීමය. මෙය “rule of law” සහ “rule by law” අතර වෙනස හඳුනා ගැනීමෙන් තවත් පැහැදිලි කළ හැකිය. Rule of law යටතේ දේශපාලන බලය ඇතුළු සියලු රාජ්‍ය බලයන් නීතියට යටත් වන අතර, නීතිය බලය සීමා කරන මෙවලමකි. Rule by law තත්ත්වයකදී නීතියම ආණ්ඩුවේ හෝ බලවත් දේශපාලන කණ්ඩායමක අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් බවට පත්විය හැකිය. එබැවින් නීතිය තිබීම පමණක් නීතියේ ආධිපත්‍යය තහවුරු නොකරයි; වැදගත් වනුයේ නීතිය දේශපාලන බලය සීමා කරන්නේද යන්න ය.

දේශපාලනයේදී “නීතිය නැවීම”

දේශපාලන ක්ෂේත්‍රයේදී මෙම සංකල්පය තවත් පුළුල් වේ. ආණ්ඩුවක් හෝ දේශපාලන පක්ෂයක් තම බලය පවත්වාගෙන යාම දේශපාලන පැවැත්ම ආරක්ෂා කිරීම, ප්‍රතිවාදීන් පාලනය කිරීම, හෝ තම දේශපාලන වාසි තහවුරු කිරීම සඳහා නීතිය සහ නීති ආයතන භාවිත කරන විට “නීතිය නැවීමේ දේශපාලනය” යන සංකල්පය මතු වේ.

ඒ අනුව එය ආකාර කිහිපයකින් සිදුවිය හැකිය.

  1. නීතිය තෝරාගත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම - එකම ආකාරයේ ක්‍රියාවකට විවිධ පුද්ගලයන්ට විවිධ නීතිමය ප්‍රතිචාර ලබාදීම.

  2. නීතියේ හිඩැස් භාවිත කිරීම - නීතියේ පැහැදිලි නොවන හෝ අර්ථ කිහිපයක් ලබාගත හැකි ප්‍රතිපාදන දේශපාලන වාසිය සඳහා යොදා ගැනීම.

  3. නීති ආයතන දේශපාලනිකව භාවිත කිරීම - පොලීසිය, නීතිපති ආයතනය, පරිපාලන ආයතන හෝ වෙනත් රාජ්‍ය ආයතන දේශපාලන අරමුණු සඳහා බලපෑමට ලක් කිරීම, සහ නීතිය මගින්ම ඒවා වෙනස්කිරීම.

  4. නීතිය වෙනස් කිරීම මඟින් බලය ආරක්ෂා කිරීම - පොදු යහපතට වඩා දේශපාලන බලය දිගු කිරීම හෝ බලය සංකේන්ද්‍රණය කිරීම සඳහා නීතිමය රාමුව වෙනස් කිරීම.

  5. නීතියේ ආරක්ෂාව දේශපාලන අනුග්‍රහයක් බවට පත් කිරීම - බලයට සම්බන්ධ පුද්ගලයන්ට නීතියේ වෙනස් ආරක්ෂාවක් හෝ වරප්‍රසාදයක් ලබාදීම.

ඒ අනුව, නීතිය නැවීමේ දේශපාලනයේ මූලික ගැටලුව නීතිය නැමීම පමණක් නොව, නීතියට ඉහළින් දේශපාලන බලය ස්ථාපිත වීමය.

නීතිය නැවීමේ දේශපාලනයේ හානිය

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලන බලයේ අවසාන සීමාව විය යුත්තේ නීතියයි. ජනතාවගේ ඡන්දයෙන් ආණ්ඩුවක් බලයට පත්වීමෙන් එයට පාලනය කිරීමේ අධිකාරි බලය ලැබුණද, එම අධිකාරි බලය අසීමිත නොවේ. ආණ්ඩුව, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සහ සාමාන්‍ය පුරවැසියන් සියලු දෙනාම නීතියට යටත් විය යුතුය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අර්ථය මැතිවරණ පැවැත්වීමෙන් පමණක් සම්පූර්ණ නොවේ. බලයට පත්වන අය ද නීතියේ සීමාවන්ට යටත්ව පාලනය කිරීම, නීතිය සමානව ක්‍රියාත්මක කිරීම, සහ ස්වාධීන නීති ආයතන පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අත්‍යවශ්‍ය කොන්දේසි වේ.

එහෙත් දේශපාලන බලය තම පැවැත්ම, බලය සහ දේශපාලන වාසි ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට “නැවීමට” පටන් ගත් විට බරපතළ ගැටලුවක් මතු වේ. මෙහි “නීතිය නැවීම” යන්නෙන් නීතියක් සෘජුවම උල්ලංඝනය කිරීම පමණක් අදහස් නොවේ. නීතිය තෝරාගත් පිරිසකට පමණක් ක්‍රියාත්මක කිරීම, නීතියේ හිඩැස් දේශපාලන වාසි සඳහා භාවිත කිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම, නීතියට අනුවම යමින් සිදුකරන ප්‍රතිසංස්කරණ හා සංශෝධන, ප්‍රතිවාදීන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කර තම පාර්ශ්වයට එය ලිහිල් කිරීම, සහ තම බලය දිගු කර ගැනීම සඳහා නීතිමය රාමුව වෙනස් කිරීම ද “නීතිය නැවීමේ දේශපාලනය” ලෙස පුළුල් අර්ථයෙන් හඳුනාගත හැකිය.

නීතියේ ආධිපත්‍යය සහ නීතිය මඟින් පාලනය කිරීම

ලිපියේ හැඳින්වීම තුළ දක්වා ඇති පරිදි මෙහිදී “නීතියේ ආධිපත්‍යය” (rule of law) සහ “නීතිය මඟින් පාලනය කිරීම” (rule by law) අතර ඇති වෙනස වැදගත් වේ. නීතියේ ආධිපත්‍යය යනු ආණ්ඩුව ඇතුළු සියලු දෙනා නීතියට යටත් වීමයි. නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු අතර, රාජ්‍ය බලය නීතිය මඟින් සීමා කළ යුතුය. අනෙක් අතට, “ නීතිය මගින් පාලනය” (rule by law) තත්ත්වයකදී නීතිය ආණ්ඩුවේ පාලන මෙවලමක් බවට පත්විය හැකිය. එවිට නීතිය ආණ්ඩුවේ බලය සීමා කරන උපකරණයක් නොව, ආණ්ඩුවේ බලය ක්‍රියාත්මක කරන උපකරණයක් බවට පත්වේ. එබැවින් රටක නීති විශාල ප්‍රමාණයක් තිබීම පමණක් නීතියේ ආධිපත්‍යය තහවුරු නොකරයි. වැදගත් වන්නේ නීතිය කාටද, කෙසේද, සහ කුමන අරමුණක් සඳහා ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. නීතිය බලවතුන්ට එක් ආකාරයකින්ද සාමාන්‍ය පුරවැසියාට තවත් ආකාරයකින්ද ක්‍රියාත්මක වන්නේ නම්, නීතියේ ආධිපත්‍යය ප්‍රායෝගිකව දුර්වල වේ.

නීතිය දේශපාලන බලයේ මෙවලමක් බවට පත් කිරීම

නීතිය නැවීමේ දේශපාලනයේ ප්‍රධාන හානිය වන්නේ නීතිය දේශපාලන බලයේ මෙවලමක් බවට පත්වීමයි. ආණ්ඩුවක් තම පැවැත්ම සඳහා නීතිය භාවිත කරන විට, නීතියේ මූලික අරමුණ වන සමානාත්මතාව, සහ සාධාරණත්වය වෙනුවට දේශපාලන අවශ්‍යතාව ප්‍රමුඛ විය හැකිය. උදාහරණයක් ලෙස, ආණ්ඩුවකට අභියෝග කරන දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීති දැඩිව ක්‍රියාත්මක කරමින්, ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව සම්බන්ධයෙන් සමාන නීති ලිහිල්ව ක්‍රියාත්මක වන්නේ නම් නීතියේ සමානාත්මතාව බිඳ වැටේ. එවැනි තත්ත්වයකදී නීතිය සාධාරණත්වයේ පොදු රාමුවක් නොව දේශපාලන තරගයේ ආයුධයක් බවට පත්වේ.

මෙහිදී විශේෂයෙන්ම “තෝරාගත් නීති ක්‍රියාත්මක කිරීම” (selective enforcement) වැදගත් වේ. එකම ආකාරයේ ක්‍රියාවක් සම්බන්ධයෙන් එක් පාර්ශ්වයකට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර අනෙක් පාර්ශ්වය නොසලකා හැරීම නීතිය පිළිබඳ ජනතා විශ්වාසය දුර්වල කරයි.

නීති ආයතන දේශපාලනිකව අවභාවිත කිරීම

නීතිය නැවීමේ වඩාත් ගැඹුරු ස්වරූපයක් වන්නේ නීතියට වඩා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවභාවිත කිරීමයි. පොලීසිය, නීතිපති ආයතනය, අධිකරණය, මැතිවරණ ආයතන, විගණන ආයතන, සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණ වැනි ආයතන ස්වාධීනව සහ නීතිමය වගකීමක් යටතේ ක්‍රියා කළ යුතුය. එහෙත් එවැනි ආයතනවල තීරණ දේශපාලන බලපෑම්වලට යටත් වන විට නීතියේ ආධිපත්‍යයට බරපතළ හානියක් සිදුවේ. නීතිය එකසේ පැවතියත් එය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන බලයට අනුව වෙනස් ලෙස ක්‍රියා කරන්නේ නම් හෝ ඒවා නීතිය අනුවම යමින් වෙනස් කරන්නේ නම් නීතියේ සමානාත්මතාවය ප්‍රායෝගිකව අහිමි වේ. මෙහි ඇති විශේෂ අවදානම වන්නේ දේශපාලන බලය නීතිය සෘජුවම කඩ නොකරමින් ම නීති ආයතන හරහා තම අරමුණු ඉටු කර ගැනීමට හැකි වීමයි. එවිට නීතිය පවතින බව පෙනුණද, නීතියේ ක්‍රියාකාරීත්වය දේශපාලන බලයේ අවශ්‍යතාව අනුව හැඩගැසිය හැකිය.

දේශපාලන පක්ෂයක පැවැත්ම සඳහා නීතිය භාවිත කිරීම

නීතිය නැවීමේ මෙම ගැටලුව ආණ්ඩුවකට පමණක් සීමා නොවේ. දේශපාලන පක්ෂයක්ද තම සංවිධානාත්මක පැවැත්ම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහා නීතිමය හා ආයතනික යාන්ත්‍රණ අවභාවිත කිරීමට උත්සාහ කළ හැකිය. පක්ෂ අභ්‍යන්තර බල අරගලයකදී නීතිමය හිඩැස් භාවිත කර ප්‍රතිවාදී කණ්ඩායම් දුර්වල කිරීම, පක්ෂයට වාසිදායක වන ආකාරයෙන් නීතිමය රාමුව වෙනස් කිරීමට උත්සාහ කිරීම හෝ දේශපාලන බලය භාවිත කර තම පක්ෂයේ පැවැත්ම තහවුරු කර ගැනීම මෙයට උදාහරණ වේ. මෙහිදී දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී තරගයේ එක් පාර්ශ්වයක් වීමෙන් ඉවත්ව, තරගයේ නීති සහ එම නීති ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි බලපෑම් කිරීමට උත්සාහ කරන තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇත.

බලය දිගු කර ගැනීම සඳහා නීතිය වෙනස් කිරීම

නීතිය වෙනස් කිරීම ස්වභාවයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නොවේ. සමාජයේ වෙනස්වන අවශ්‍යතා අනුව නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ හැකිය. එහෙත් ගැටලුව ඇති වන්නේ නීති සංශෝධනයේ ප්‍රධාන අරමුණ පොදු යහපත වෙනුවට එක් ආණ්ඩුවක, පක්ෂයක, හෝ බල කණ්ඩායමක දේශපාලන පැවැත්ම ආරක්ෂා කිරීම වූ විටය. විශේෂයෙන් බලයේ සිටින පාර්ශ්වය තම බල කාලය දිගු කර ගැනීමට, බලතල සංකේන්ද්‍රණය කර ගැනීමට, හෝ තම දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනීමට නීතිමය රාමුව වෙනස් කරන්නේ නම්, එය නීතියේ අරමුණ පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. එබැවින් ප්‍රශ්නය “නීතිය වෙනස් කළ හැකිද?යන්න නොව, “නීතිය වෙනස් කරන්නේ කාගේ බලය ආරක්ෂා කිරීමටද?යන්නයි.

නීතියේ සමානාත්මතාවය බිඳ වැටීම

නීතිය නැවීමේ දේශපාලනයේ පළමු හානිය වන්නේ නීතිය ඉදිරියේ සමානාත්මතාවය බිඳ වැටීමයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය අනුව සියලු තැනැත්තෝ නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ලබති. එබැවින් දේශපාලන බලය ඇති පුද්ගලයාටත් සාමාන්‍ය පුරවැසියාටත් නීතියේ මූලික ප්‍රතිපත්තිය එකසේ අදාළ විය යුතුය. නමුත් දේශපාලන සම්බන්ධතා, බලය, ධනය, හෝ පක්ෂ අනුග්‍රහය මත නීතිය වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් පුරවැසියා තුළ “නීතිය සියල්ලන්ටම එකසේ නොවේ” යන හැඟීම ඇති වේ. විශ්වසනීයත්වය බිඳ වැටේ. එය ඉතා භයානක තත්ත්වයකි. මන්ද නීතියට ගරු කිරීම බොහෝ විට බලහත්කාරයෙන් නොව, නීතිය සාධාරණ බව පිළිබඳ ජනතා විශ්වාසය මත රඳා පවතින බැවිනි.

දූෂණයට සහ දේශපාලන අනුග්‍රහයට දොරටුවක්

නීතිය දේශපාලන බලයට යටත් වූ විට දූෂණයට සහ දේශපාලන අනුග්‍රහයට අවකාශ වැඩි වේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන බලපෑම්වලට යටත් නම්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම, බලතල අනිසි ලෙස භාවිත කිරීම සහ වගවීමෙන් ගැලවීම පහසු විය හැකිය. මෙහි දූෂණය යනු මුදල් ලබා ගැනීම පමණක් නොවේ. රාජ්‍ය බලය පෞද්ගලික හෝ පක්ෂ දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම, නීතිය තෝරාගත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම, සහ නීති ආයතනවල ස්වාධීනත්වය දේශපාලන අරමුණු සඳහා දුර්වල කිරීමද පුළුල් ආයතනික දූෂණයක කොටසක් විය හැකිය.

පුරවැසියාගේ නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම

නීතිය නැවීමේ දේශපාලනයේ වඩාත්ම ගැඹුරු හානිය වන්නේ පුරවැසියා සහ රාජ්‍යය අතර විශ්වාසය බිඳ වැටීමයි. නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බව පුරවැසියා විශ්වාස කිරීමට පටන් ගත් විට නීතියට ස්වේච්ඡාවෙන් අනුගත වීමේ කැමැත්ත දුර්වල විය හැකිය. එවිට නීතිය වෙනුවට පුද්ගලික සම්බන්ධතා, දේශපාලන අනුග්‍රහය, මුදල් සහ බලය මත ගැටලු විසඳා ගැනීමේ සංස්කෘතියක් වර්ධනය විය හැකිය. “නීතියෙන් වැඩක් නැත; බලය ඇති කෙනෙකු හඳුනා ගැනීම වැදගත්ය” යන සමාජ මනෝභාවය ඇති වන්නේ මෙවැනි පරිසරයකදීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අවසාන හානිය

මෙහි අවසාන හානිය ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික පදනම දුර්වල වීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයකගේ පාලනය පමණක් නොවේ. බහුතර බලයද නීතියෙන් සීමා විය යුතුය. බලයේ සිටින ආණ්ඩුවක් තම බලය භාවිත කර නීති ආයතන දුර්වල කරන්නේ නම්, මැතිවරණයෙන් බලය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොවේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරීක්ෂණය වන්නේ බලය ලබා ගැනීමේදී නීතියට ගරු කිරීම පමණක් නොව, බලයට පැමිණි පසුද නීතිය තමන්ට සීමාවක් ලෙස පිළිගැනීමයි.

මේ අනුව, නීතිය නැවීමේ දේශපාලනය යනු නීතියක් කඩ කිරීමේ සරල ක්‍රියාවකට වඩා පුළුල් හා ගැඹුරු දේශපාලන සංසිද්ධියකි. එහිදී නීතිය විනාශ නොකර, නීතියම දේශපාලන බලයේ මෙවලමක් බවට පත් කළ හැකිය. ආණ්ඩුවක් තම පැවැත්ම සඳහා නීතිය භාවිත කිරීමත්, දේශපාලන පක්ෂයක් තම බලය ආරක්ෂා කර ගැනීම සඳහා නීති ආයතන භාවිත කිරීමත්, ප්‍රතිවාදීන්ට නීතිය තෝරාගත් ලෙස ක්‍රියාත්මක කිරීමත්, තම බලය දිගු කර ගැනීමට නීතිමය රාමුව වෙනස් කිරීමත් අවසානයේ එකම මූලික ප්‍රශ්නයකට ගෙන යයි. එනම් නීතියේ සහ නීති ආයතනවල සාධාරණ සහ යුක්තිසහගත පැවැත්ම අඩාල වී සමාජයේ යහ ආණ්ඩුකරණය අර්බුදයට යාමයි. එවිට, නීතිය දේශපාලන බලය පාලනය කරනවාද, නැතහොත් දේශපාලන බලය නීතිය පාලනය කරනවාද? යන මුලික ප්‍රශ්නය පැන නැගෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පිළිතුර පැහැදිලි විය යුතුය. එනම්, නීතිය දේශපාලන බලයට යටත් නොවිය යුතුය; දේශපාලන බලය නීතියට යටත් විය යුතුය. නීතිය ආණ්ඩුවේ ආයුධයක් නොව, ආණ්ඩුව ඇතුළු සියලු බලයන් සීමා කරන පොදු රාමුවක් විය යුතුය.

එසේ නොවුවහොත් නීතිය පවතින බව පෙනුණද, නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් හිස් ආකෘතියක් බවට පත්විය හැකිය. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයකින් ආණ්ඩුවක් තෝරාගැනීමේ ක්‍රියාවලියකට පමණක් සීමා වී, බලය සීමා කිරීම, වගවීම, සමානාත්මතාව, සහ පුරවැසි නිදහස ආරක්ෂා කිරීමේ පද්ධතියක් ලෙස එහි මූලික අර්ථය දුර්වල විය හැකිය. එබැවින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම යනු නීතිය ආරක්ෂා කිරීම පමණක් නොවේ. එය දේශපාලන බලය සීමා කිරීම, නීති ආයතන ස්වාධීනව තබා ගැනීම, පුරවැසියාට සමාන නීතිමය ආරක්ෂාවක් ලබාදීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ආරක්ෂා කිරීම යන සියල්ල එකට සම්බන්ධ වූ වගකීමකි.