එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ 49 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් පසුගිය අප්‍රේල් මස යාපනයේ පැවති සමරු වැඩසටහනෙහි ප්‍රධාන දේශනය සඳහා මෙවර ආරාධනය ලැබී තිබුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාටය.උතුරෙන් එවැනි ආරාධනාවක් ⁣දකුණට ලැබීමත් ,ඒ ලැබුණු ආරාධනාව පිළිගෙන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊට

සහභාගි වීමත්, එසේ සහභාගි වෙමින් මහාචාර්යවරයා ඉදිරිපත් කළ අදහස් මාලාවත් මෙරට වාර්ගික අනන්‍යතා දේශපාලන ඉතිහාසයෙහි සුවිශේෂී සළකුණක් තබයි.

මෙම අනුස්මරණ දේශනය පැවති අප්‍රේල් විසි 26 වන දා වන විට චෙල්වනායගම් මහතා අභාවයට පත්ව 49 වසරක් ගතව තිබිණි. අඩ සියවසකට ආසන්න එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ප්‍රවාහය ඉදිරියට විකාශනය වූවේ නොසිතූ විරූ අන්තයන් වෙත ගමන් කරමින් , හා ඒ ගමනෙහි නිසි , අනිසි ප්‍රතිපල ද සමාජයට අත්කර දෙමිනි.

ඒ ගමන් මඟ වෙත මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ඇතුළු වීම කාල වකවානුව අනුව ද ,

ගැටළුවට විසඳුම් සෙවීමේ ප්‍රවේශය අනුව ද , අනුගමනය කළ උපාය මාර්ග අනුව ද, චෙල්වනායගම් මහතාගේ උපාය මාර්ගයෙන් වෙනස් වූ සුවිශේෂී අනන්‍යතාවයක් සහිත වන නමුත් සාමකාමී විසඳුමක් සඳහා දෙදෙනාගේම කැපවීම සමාන විය.

නිදහස් ලංකාවේ මුල් දශක කිහිපය තුළ චෙල්වනායගම් මහතාගේ මැදිහත්වීම් විවිධ සම්මුතිීන් සහ අරගල අතරින් විකාශනය වූ අතර මහාචාර්ය ජී එල් පිරිස් මහතාගේ මැදිහත්වීම් බොහෝ විට ප්‍රකාශයට පත් වූයේ රාජ්‍ය නියෝජනය කරමින් ගොඩනැගූනු සාකච්ඡාමය ක්‍රියාමාර්ග හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අරමුණු කර ගනිමිනි.

චෙල්වනායගම් මහතා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අරගලකාරී දේශපාලන කඳවුරෙහි නායකයා වූ අතර ඔහුගෙන් පසු කලෙක ජී. එල්. පීරිස් මහතා ඊට එක් වන්නේ දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි සංවේදීව නමුත් මූලික වශයෙන් ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් වශයෙනි.

විසඳුම් ප්‍රවේශය සලකා බැලූ කල චෙල්වනායගම් මහතා මුල් කාලීනව උතුරු නැගෙනහිර කලාපය සම්ප්‍රදායික දෙමළ නිජබිම් ලෙස සලකමින් ප්‍රාදේශීයව බලය විමධ්‍යගත කිරීම උදෙසා පෙඩරල් (සන්ධීය )පාලන ක්‍රමයක් ලංකාවට ඉල්ලා සිටි අතර ජී. එල් .පීරිස් මහතා බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් පෙනී සිටි නමුත් ⁣ෆෙඩරල්වාදය ඔහුගේ පරම විසඳුම නොවීය. කෙසේ වෙතත් එක්සත් ලංකාවක් තුළ බලය විමධ්‍ය ගත කිරීමේ ආකෘතිය කුමක්දැයි ඔහු නිතරම ගවේෂණශීලි විය.

මූලික වශයෙන් ගත් විට චෙල්වනායගම් ක්‍රමය අරගලය සහ සාකච්ඡාව යන ද්විත්ව මාර්ගය ඔස්සේ වූ අතර ජී එල් පීරිස් ක්‍රමය මුළුමනින්ම රාජ්‍ය තාන්ත්‍රික හා ව්‍යවස්ථාමය මාර්ගයෙහි විය.

කෙසේ වෙතත් නිදහසෙන් පසු ගෙවී ගිය හැත්තෑ අට වසරකට ආසන්න කාලය තුළ යුග දෙකක නමුත් චෙල්වනායගම් සහ

ජී. එල්. පීරිස් යන මේ දෙපළම මාර්ග දෙකක් ඔස්සේ නමුත් සාමකාමී ලංකාවක් පිළිබඳ පොදු අරමුණ කරා දුෂ්කර මෙන්ම දීර්ඝ ගමනක් පැමිණ ඇත. ගමනෙහි අපේක්ෂාවන් ඒ අයුරින්ම සඵල වී නැති නමුත් , අද වන විට යම් සංධිස්ථානයකට පැමිණ ඇති බව ද පෙනෙන්නට තිබේ .

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට එස්. ජේ.වී චෙල්වනායගම් මහතාගේ හතළිස් නමවන ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගි වීමට ඇරයුම් ලැබෙන්නේ එවැනි පසුබිමක් තුළය.

ඓතිහාසිකව මෙම දෙපළ ඉටුකරන ලද සමාජ දේශපාලන කාර්යභාරය අනුව බලන විට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට මෙම දේශනය පැවැත්වීමට අවස්ථාවක් ලැබීම එක් අතකින් ඔහුට හිමි වූ දෛවෝපගත වරප්‍රසාදයක් වන අතර ලංකාවේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සළකුණු කෙරෙන අවස්ථාවක් ද විය.

චෙල්වනායගම් ගේ දේශපාලන උරුමය වූ ෆෙඩරල්වාදය මහාචාර්යවරයාගේ ස්ථාවරය නොවූ තතු යටතේ ඔහුගේ සහභාගිත්වය සහ අදහස් දැක්වීම පරස්පර විරෝධී තත්ත්වයක් උසුලනු ඇතැයි සමහර විවේචකයන් ගේ අහිතකර ප්‍රතිචාර ද ඒ වන විට ලැබෙමින් තිබිණි.

ඊට ප්‍රතිචාර ප්‍රතිචාර සභාවෙහි පිළිගැනීමේ කතාව කළ එම්.ඒ. සුමන්දිරන් මහතාගෙන් නොඅඩුව ලැබිණි. ඉහත විවේචනවලට පිළිතුරු දෙමින් සුමන්දිරන් මහතා කියා සිටියේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ජනවාර්ගික ගැටලුව විසඳීමට ව්‍යවස්ථාමය වශයෙන් උපරිම හා සාධනීය දායකත්වය දුන් සිංහල නායකයා මහාචාර්ය පීරිස් බව ය.

එපමණක් නොව, චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මහාචාර්ය පීරිස් හා ආචාර්ය නීලන් තිරුචෙල්ලම් මහතා එක්ව සකස් කල 1995/ 1997 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විසඳුම ලංකා ඉතිහාසයේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සිංහල පාර්ශවයකින් ඉදිරිපත් වූ හොඳම ලියැවිල්ල බව ද ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය.

ඒ හා සමඟ මහාචාර්යවරයා තම ප්‍රධාන දේශනය මගින් එතෙක් නැගුණු ප්‍රශ්නවලට මෙන්ම නොනැගුණු බොහෝ ප්‍රශ්න වලටද පිළිතුරු දුන්නේය .

ඔහුගේ මාතෘකාව 'ෆෙඩරල්වාදය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මග' නම් විය.( federalism and the path of constitutional reform )

ඔහු දේශනය ඇරඹුවේ "යාදුම් ඌරේ , යවරුම් කේලීර්"( සෑම නගරයක්ම මගේ ගමයි, සෑම කෙනෙක්ම මගේ නෑදෑයෝ ) යැයි දෙමළ සාහිත්‍යයේ එන සුප්‍රකට පාඨයක් උපුටා දක්වමිනි. එහිදී ඔහු චෙල්වනායගම් මහතාගේ මුල්කාලීන ෆෙඩරල් දර්ශනය සහ පසුකාලීනව දෙමළ දේශපාලනය තුළ බෙදුම්වාදය දෙසට ගමන් කිරීමේ ඓතිහාසික හැරවූම් ලක්ෂය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් ලෙස ඉදිරිපත් කළේය .

එහිදී මහාචාර්යවරයා දැක්වූ අදහස් කීපයක් මෙසේය ;

ශ්‍රී ලංකාව දශක තුනකට ආසන්න කාලයක් පුරා දරුණු සිවිල් යුද්ධයකට ඇද වැටීම ඓතිහාසික අනිවාර්යතාවක් නිසා සිදුවූවක් නොවේ.

විවිධ අවස්ථාවල දකුණේ සහ උතුරේ නායකයන් ගත් වැරදි දේශපාලන තීන්දු හා මගහැර ගත් අවස්ථා නිසා රට යුද්ධයකට තල්ලු වූවේ ය.

ෆෙඩරල්වාදය පිළිබඳ යෝජනාව දෙමළ නායකයන්ට පෙර සිංහල නායකයන් ඉදිරිපත් කළ බවද මෙහිදී ඔහු සිහිපත් කළේය.

දේශනයෙහි කේන්ද්‍රීය කරුණක් ලෙස ඔහු ඔස්ලෝ ප්‍රකාශනය හා එල්ටීටීඊ ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කළේය .

2022 සාම සාකච්ඡාවලදී එක්සත් ලංකාවක් තුළ විසඳුම් ක්‍රියාවලියක් සඳහා කරුණු ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ නමුත් එල්.ටී.ටී.ය වෙන් වී යාමේ අයිතිය නැමැති කඩුව නිරන්තරයෙන් ඔසවාගෙන සිටීම හේතුවෙන් එම එකඟතාව බිඳ වැටුණු බවද මෙහිදී ඔහු සිහිපත් කළේය.

මහාචාර්ය වරයා ඉදිරිපත් කළ අදහස් සමස්ත සභාව එකහෙලා පිළිගත්තේදැයි කිසිවෙකුට නිගමනය කළ නොහැකි නමුත්, එවැනි අදහස් දැක්වීමක් සඳහා මහාචාර්යවරයාට අවස්ථාවක් ලැබීම සහ ඔහු එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ආකාරය මෙරට ජනවාර්ගික සංවාද භූමියෙහි ධනාත්මකව සලකුණු වන්නකි.

ඒ අතර පැහැදිලි වන තවත් සත්‍යයක් නම් දෙමළ සමාජයෙහි ෆෙඩරල් මතවාදයේ

පුරෝගාමියා අභාවයට පත්ව හතළිස් නම වසරකට පසුවත් තිස් වසරක යුද්ධය අවසන් වීමෙන් දාහත් වසරකට පසුවත් පෙඩරල්වාදය මෙන්ම ඒ ආශ්‍රිත අභ්‍යන්තර ස්වයංපාලනයක් පිළිබඳ සංවාදය තවම මේ රටෙහි සක්‍රීයව පවතින බවයි.

එහිලා කිසියම් ධනාත්මක තැනකට අද රට පැමිණ ඇති බව ඉහත ගුණ සමරු වැඩසටහන මගින් ද එහිදී මහාචාර්යවරයා ඉදිරිපත් කළ අදහස් හා ඊට ලැබුණු ප්‍රතිචාර මගින්ද පැහැදිලි වෙයි.

එවැනි පසුබිමක මෙම සංවාදය වඩා යහපත් නැඹුරුවකට යොමු කරමින් දෙපාර්ශවයට එකඟ විය හැකි ධනාත්මක විසඳුමකට පිවිසීම අද රට හමුවේ ඇති ප්‍රමුඛතම අභියෝගයකි.

- චන්ද්‍රනාථ.