ශ්‍රී ලංකාව ද ඇතුළුව තෙවන ලෝක රටවල් මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදය සම්පූර්ණයෙන්ම වෛද්‍ය හෝ තාක්ෂණික ගැටලුවක් ලෙස පමණක් අවබෝධ කරගැනීම ප්‍රමාණවත් නොවේ. එය ගැඹුරු ලෙස බැඳී ඇත්තේ ගෝලීය, කලාපීය, සහ ජාතික  දේශපාලන බල ව්‍යුහයන්, ආර්ථික පද්ධති, වෙළඳපොළ මෙහෙයුම්, ජාත්‍යන්තර බල සම්බන්ධතා, සහ සම්පත් බෙදාහැරීමේ අසාමාන්‍යතා සමඟය. මෙම ලිපියේ සිදුකොට ඇත්තේ දේශපාලන ආර්ථික ප්‍රවේශයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා, ඖෂධ හිඟය, සේවා ප්‍රවේශයේ අසාධාරණය, සහ සෞඛ්‍ය පද්ධති දුර්වලතා විග්‍රහ කිරීමය. 

දේශපාලන ආර්ථිකය සහ සෞඛ්‍යය

දේශපාලන ආර්ථිකය යනු සම්පත් නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය දේශපාලන බලය හා ආයතන මගින් කෙසේ පාලනය කරන්නේද යන්න විග්‍රහ කරන ශාස්ත්‍රීය ක්ෂේත්‍රයකි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙම ප්‍රවේශය යොදාගත් විට, “රෝග ඇතිවන්නේ ඇයි?” යන ප්‍රශ්නයට වඩා “රෝගවලින් වැඩිම පීඩාවට ලක්වන්නේ කවුද, ඒ ඇයි?” යන ප්‍රශ්නය මූලික වේ. තෙවන ලෝක රටවලදී දුප්පත්කම, අඩු ආදායම් මට්ටම්, අසමාන සමාජ ව්‍යුහ, අඩු සෞඛ්‍ය සාක්ෂරතාවය, සහචර වෙළඳ-දේශපාලන-නිලධර සබඳතා සහ රාජ්‍ය මැදිහත් වීමේ සීමිතභාවය ඉහත කී ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සෞඛ්‍ය සෘජුවම තීරණය කරයි.

ගෝලීය අසමානතා සහ සෞඛ්‍ය අර්බුදය

තෙවන ලෝක රටවල සෞඛ්‍ය අර්බුදය විග්‍රහ කරගැනීමේ දී අවධානය යොමු කළ යුතු  මූලික සාධකයක් වන්නේ ගෝලීය ආර්ථික අසමානතාවය ය. ධනවත් රටවල් හා බහුජාතික සමාගම් විසින් පාලනය කරන ගෝලීය වෙළඳපොළ තුළ, සෞඛ්‍ය සම්පත්—ඖෂධ, වෛද්‍ය උපකරණ, තාක්ෂණය—අධික මිලකට පත් වීම සාමාන්‍ය තත්ත්වයකි. උදාහරණයක් ලෙස, කොවිඩ්–19 වසංගත සමයේදී, එන්නත් බෙදාහැරීමේදී “වැක්සින් ජාතිකවාදය Vaccine Nationalism” හේතුවෙන් ධනවත් රටවල් එන්නත් අධික ලෙස රැස්කරගත් අතර, බොහෝ තෙවන ලෝක රටවල්වලට වසර ගණනාවක් ප්‍රමාදව එන්නත් ලබාගැනීමට සිදුවිය.

ඖෂධ කර්මාන්තය සහ TRIPS ගිවිසුම

 

තෙවන ලෝක රටවල සෞඛ්‍ය අර්බුදයේ දේශපාලන ආර්ථික විග්‍රහයේදී WTO–TRIPS (Trade-Related Aspects of Intellectual Property Rights) ගිවිසුම අතිශය වැදගත් වේ. මෙම ගිවිසුම මගින් ඖෂධ සඳහා පේටන්ට් හිමිකම් දැඩිව ආරක්ෂා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සාමාන්‍ය ඖෂධ (generic drugs) නිෂ්පාදනය සීමා වෙයි, ඖෂධ මිල ඉහළ යයි, දුප්පත් රටවල් සඳහා ජීවිතාරක්ෂක ඖෂධ ලබාගැනීම අපහසු වෙයි. මෙම තත්ත්වය සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කරමින්, මිනිස් හිමිකමක් අයිතියක් ලෙස සෞඛ්‍යය සලකන අදහස දුර්වල කරයි.

 

රාජ්‍යය, නීති, සහ සෞඛ්‍ය පද්ධති

 

තෙවන ලෝක රටවල බොහෝ සෞඛ්‍ය අර්බුද සෘජුවම බැඳී ඇත්තේ දුර්වල රාජ්‍ය ආයතන හා දේශපාලන තීරණ සමඟය. සෞඛ්‍යයට ප්‍රමුඛතාව ලබා නොදීම, අයවැය කප්පාදුව, දූෂණය, සහ දේශපාලන අස්ථාවරභාවය සෞඛ්‍ය පද්ධති විනාශ කරයි. විශේෂයෙන් IMF හා World Bank වැනි ආයතන මගින් යෝජිත ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන්  (Structural Adjustment Programs) මගින්, සෞඛ්‍ය වියදම් අඩු කිරීම, පුද්ගලීකරණය (privatization), පරිශීලක ගාස්තු (user fees) හඳුන්වාදීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමෙන් දුප්පත් ජනතාව සෞඛ්‍ය සේවාවලින් තවදුරටත් දුරස් කෙළේය, කොන් කෙළේය.

 

සෞඛ්‍යය, පන්තිය, සහ සමාජ අසමානතාව

 

දේශපාලන ආර්ථික ප්‍රවේශයකින් බලන විට, සෞඛ්‍යය පන්තිය, ලිංගිකත්වය, භූගෝලීය පිහිටීම සහ වෘත්තිය සමඟ ගැඹුරු ලෙස බැඳී ඇත. තෙවන ලෝක රටවල ග්‍රාමීය, කම්කරු, සහ අවිධිමත් ආර්ථිකයේ නිරතවන්නන්, සහ  දිළින්දන් සෞඛ්‍ය අර්බුදවල වැඩිම ගොදුරුය. එමෙන්ම, කාන්තාවන්, සහ ළමුන් සෞඛ්‍ය අසමානතාවයන්ට විශේෂයෙන්ම ගොදුරු වේ. මෙය ජීව විද්‍යාත්මක ගැටලුවකට වඩා සමාජ–ආර්ථික ගැටලුවක් ලෙස හඳුනාගත යුතුය.

 

තෙවන ලෝක රටවල සෞඛ්‍ය අර්බුදය විසඳීමට වෛද්‍ය ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවේ. එය දේශපාලන ආර්ථික ගැටලුවක් වන අතර, ගෝලීය බල ව්‍යුහ, ආර්ථික අසමානතා, බහුජාතික සමාගම්, සහ දේශපාලන තීරණ එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකි.

 

එබැවින්, සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් ලෙස නොව, මූලික මිනිස් හිමිකමක් ලෙස සලකන, සාධාරණ ගෝලීය ආර්ථික ක්‍රමයක් සහ ශක්තිමත් රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වේ. එනම් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ඇත්තේ රෝහලේ නොවේ, දේශපාලන හා ආර්ථික ව්‍යුහයන් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වෙනස් කිරීම විසඳුම් සඳහා අත්‍යවශ්‍ය පදනමකි.

 

තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශ

 

තෙවන ලොව රටවල් මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදය සරලව වෛද්‍ය පහසුකම් හිඟයක් හෝ වෛද්‍යවරුන්ගේ අඩුවක් ලෙස පමණක් විග්‍රහ කළ නොහැක. එය දුප්පත්කම, අසමාන ආර්ථික ව්‍යුහ, දේශපාලන අස්ථාවරභාවය, ගෝලීය වෙළඳ පීඩන, සහ දුර්වල රාජ්‍ය පාලන ක්‍රම සමඟ ගැඹුරු ලෙස බැඳී ඇත. එබැවින්, සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා රාජ්‍යය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය මැදිහත් වීම පුළුල්, ඒකාබද්ධ සහ සාධාරණ විය යුතුය. මෙම රචනාව තුළ, තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදය අවම කිරීම සඳහා රාජ්‍යය ගත යුතු ප්‍රධාන ප්‍රතිපත්තිමය නිර්දේශ විග්‍රහ කරනු ලැබේ.

 

1. සෞඛ්‍යය මූලික මිනිස් හිමිකමක් ලෙස ස්ථාපිත කිරීම

 

රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික පදනම විය යුත්තේ සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් ලෙස නොව, මූලික මිනිස් හිමිකමක් ලෙස පිළිගැනීමයි. මෙය ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වශයෙන් තහවුරු කිරීමෙන්, සෞඛ්‍යයට අදාළ රාජ්‍ය වගකීම් ශක්තිමත් කළ හැක. එවැනි නීතිමය ආරක්ෂාවක් ඇති විට, අයවැය කප්පාදු හෝ පුද්ගලීකරණ ප්‍රතිපත්ති සීමා කිරීමටද හැකි වේ.

 

2. සෞඛ්‍ය සඳහා රාජ්‍ය වැය වර්ධනය

 

තෙවන ලොව රටවල බොහෝ සෞඛ්‍ය අර්බුද වල මූලික හේතුවක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන වැය ප්‍රමාණය අඩු වීමයි. එබැවින්, GDP එකෙන් නිශ්චිත ප්‍රතිශතයක් සෞඛ්‍යයට වෙන් කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබාදීම, ග්‍රාමීය සහ අඩු පහසුකම් ඇති ප්‍රදේශ සඳහා සම්පත් සහ මුදල් වෙන්කිරීම වැනි ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය අරමුදල් ශක්තිමත් කිරීම මගින් පුද්ගලික වෛද්‍ය වෙළඳපොළ මත ඇති අධික ආශ්‍රිතාවය අවම කළ හැක.

 

3. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම

 

WHO විසින් යෝජනා කරන පරිදි, Primary Health Care (PHC) ප්‍රවේශය තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදයට දීර්ඝකාලීන විසඳුමක් වේ. ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කිරීම, ප්‍රතිරෝධක සෞඛ්‍ය (preventive health) වැඩසටහන්, සහ මාතෘ–ළමා සෞඛ්‍යයට විශේෂ අවධානය යොමු කිරීම මගින් වෛද්‍ය පිරිවැය අවම කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කළ හැක.

 

4. දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ ප්‍රවේශය

 

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදයේ මූලික ගැටලුවකි. එබැවින් රාජ්‍යය, දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, Generic ඖෂධ භාවිතය දිරිගැන්වීම, සහ TRIPS ගිවිසුමේ (Trade-Related Aspects of Intellectual Property Rights) නම්‍යතා (compulsory licensing වැනි) භාවිතා කිරීම  වැනි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. compulsory licensing යනු රාජ්‍යය විසින්, පේටන්ට් හිමිකරුගේ අවසරය නැතිව, ඖෂධයක් නිෂ්පාදනය කරන්න හෝ ආනයනය කිරීමට දෙන නීතිමය අවසරයකි. එනම්, ජන සෞඛ්‍යයට තර්ජනයක් තිබෙන කාලයක, පේටන්ට් හිමිකම් සීමා කර ඖෂධ ජනතාවට ලබාදීමට රටකට අයිතියඇත. මෙය ජාත්‍යන්තර ඖෂධ සමාගම් මත ඇති අධික අවලම්බනය අවම කරයි.

 

5. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සංවර්ධනය කිරීම

 

වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය තෙවන ලොව රටවල පොදු ගැටලුවකි. මෙය විසඳීම සඳහා, රාජ්‍ය මට්ටමින් පුහුණු වැඩසටහන්, ග්‍රාමීය සහ දුෂ්කර සේවය සඳහා දිරිගැන්වීම්, වැටුප් හා සේවා කොන්දේසි වර්ධනය, සහ පහසුකම්  සැපයීම බුද්ධි ගලනය (Brain Drain) අවම කිරීමට අත්‍යවශ්‍ය වේ.

 

6. සෞඛ්‍ය පාලනය, දූෂණය සහ වගවීම

 

දුර්වල පාලන ක්‍රම සහ දූෂණය සෞඛ්‍ය අර්බුදය තවත් උග්‍ර කරයි. එබැවින්, සෞඛ්‍ය අයවැය සඳහා විනිවිදභාවය, ස්වාධීන නිරීක්ෂණ සහ නියාමන ආයතන, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් වැනි පාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

 

7. ගෝලීය සහ කළාපීය සහයෝගීතාව

 

තෙවන ලොව රටවල් තනිවම සෞඛ්‍ය අර්බුදයට මුහුණ දීම අපහසුය. එබැවින්, දකුණු–දකුණු (South–South) සහයෝගීතාව, WHO වැනි ආයතන සමඟ සක්‍රීය කටයුතු, ගෝලීය සෞඛ්‍ය ආණ්ඩුකරණයේ සාධාරණ ප්‍රතිසංස්කරණ සඳහා පීඩනය අත්‍යවශ්‍ය වේ.

 

8. ඒකාබද්ධ වෛද්‍ය පද්ධතියක්

 

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව විද්‍යාත්මකව වලංගු කර නිසි ලෙස නියාමනය කර ඇත්නම්, සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් ප්‍රාථමික හා වැළැක්වීමේ සෞඛ්‍ය සේවා මට්ටමින්, ඖෂධ හිඟයට සහ ඉහළ ඖෂධ පිරිවැයට අනුපූරක ප්‍රතිපත්ති ප්‍රතිචාරයක් ලෙස ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයක් (An integrated medicine system) භාවිතා කළ හැකිය.

 

9. මහජන සෞඛ්‍ය සාක්ෂරතාවය වර්ධනය

 

මහජන සෞඛ්‍ය සාක්ෂරතාවය වර්ධනය සෞඛ්‍ය අර්බුදයට අඩු වියදම්, දිගුකාලීන සහ සාධාරණ ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් ලෙස සැලකිය හැක. මහජන සෞඛ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම මගින් ජනතාවට රෝග වැළැක්වීම, ඖෂධ නිසි ලෙස භාවිතය, සහ සෞඛ්‍ය සේවා සවිඥානිකව තෝරාගැනීමේ හැකියාව ලැබේ. එය අනවශ්‍ය ඖෂධ භාවිතය, වෛද්‍ය වියදම් සහ රෝහල් පීඩනය අඩු කරමින් සෞඛ්‍ය පද්ධතියේ සමස්ත කාර්යක්ෂමතාව වර්ධනය කරයි. එබැවින්, සෞඛ්‍ය අර්බුදයට වෛද්‍යමය විසඳුම් පමණක් නොව, දැනුම මත පදනම් වූ මහජන බලගැන්වීමක් ලෙස මහජන සෞඛ්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය පිලියමකි.

 

මේ අනුව තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා රාජ්‍යය ගත යුතු ප්‍රතිපත්තිමය මැදිහත් වීම සීමිත වෛද්‍ය ප්‍රතිකාරයකින් ඉක්මවා යා යුතුය. සෞඛ්‍යය මූලික මිනිස් හිමිකමක් ලෙස පිළිගෙන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කරමින්, ඖෂධ ප්‍රවේශය සහ පාලන විනිවිදභාවය තහවුරු කිරීම මගින් දීර්ඝකාලීන විසඳුම් සකස් කළ හැක. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ නම්, තෙවන ලොව රටවල සෞඛ්‍ය අර්බුදය සමාජ සාධාරණත්වය හා මානව සංවර්ධනය ඉහළ නැංවීමට ඇති අවස්ථාවක් බවට පරිවර්තනය කළ හැක. එ සඳහා රාජ්‍ය, ආණ්ඩු, වෙළෙඳපොල, සහ පුරවැසි එකඟතා ඇතිකර ගත යුතුවේ, එවැනි පදනමක අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සහ උපායමාර්ග සකසා ගත යුතුවේ.

වැඩිදුර අදහස් දැන ගැනීමට පිවිසෙන්න 👉https://youtu.be/VUMj154qEaI?si=stft_cGPtXev9gMt