

කෑම එපා.!
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති වරයා බන්ධනාගාර ගත කිරීමෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ප්රවෘත්ති කාමරය තුළ මේ පිළිබඳ පුළුල් සාකච්ජාවක් ඇති විය.
ප්රවෘත්ති කර්තෘවරයා ගේ මතය වූවේ , සිදු වී තිබෙන හාණියේ හැටියට කොතරම් ධෛර්යමත් මිනිසකුට වුවත් කෑම බීම එපා වීම ස්වභාවික බවය.
” කීර්ති නාමය විතරක් නොවෙයි,එතුමා ගෙ විස්කි , බ්‍රැන්ඩි ටිකත් අහිමි වුණානෙ.”
“ඒක තමයි”
සාකච්ජාවට මැදිහත් වෙමින් විශේෂාංග කර්තෘවරයා කියා සිටියේය.
මං වගේ කෙනකුට නම් කෑම බීම විතරක් නෙවෙයි, ජීවිතේ වුණත් එපා වෙන්න පුළුවන්.”
“මම නං හිතන්නෙ ඔන්න ඔතැන ලොකු පොයින්ට් එකක් තියෙනව.”
ගවේෂණාත්මක මාධ්‍යවේදියා මැදිහත් වූවේය.
“කොතැනද?”
“මං කියන්නෙ ඔය විස්කි , බ්‍රැන්ඩි කේස් එකේ.”
“මොන කේස් එකද, බෝතල් දාහක් විතර තිබිලනෙ.”
ඒ බෞද්ධ පිටුවේ සංස්කාරක වරයාය.
“අන්න ඒකයි අපි හොයන්ඩ ඕනැ; බෝතල් දාහක් එකතු වෙන කල් මෙයා මොකද කළේ?”
“අන්න ඒකනෙ,මට නං එක බෝතලයක් වත් තියාගන්ඩ බෑ.”
බිස්නස් පිටුවේ සංස්කාරක වරයා කීවේ මේසයටත් පහරක් ගසමිනි.
“එපමණ බෝතල් ප්‍රමාණයක් එකතු වුණේ ඵතුමා සුරා සූදුවෙන් තොර කෙනෙක් නිසා වෙන්න බැරිද?”
බෞද්ධ පිටුවේ සංස්කාරක වරයා ඇසූ විට බිස්නස් පිටුවට කේන්ති ගියේය.
“බොන්නැති මිනිහෙක් නං බෝතල් දාහක් නිකං ළග තියාගෙන හිටපු එකම මොන තරං වරදක්ද? හිරේ දාල මදි, අඩු ගානෙ යාළුවෙකුට හරි දෙන්න එපායැ.!”
එම කතාවට ආරක්ෂක වාර්තා කරු “හ්ම් , හ්ම්.. ” කීවේය.
“අපි කොහොමද දන්නෙ එයා බොන්නෙ නෑ කියල. අනෙක් දේවල් කළේ අපි දැනගෙනද? ” යි ගවේෂණාත්මක වාර්තාකරු යළි ප්‍රශ්න කළේය.”දැන් ඔතැන හිස් බෝතල් තිබිලම නැද්ද? “
එතෙක් නිහඬව සිටි කලා පිටුවේ සංස්කාරකවරයා මැදිහත් වුණේ එවිටය.
“ඔව්, අපි නොහිතන පැත්තක් ඔතැන තියෙන්න පුළුවන් .”
“ඒ මොකක්ද ?”
“මෙයා කෑම ප්‍රතික්ෂේප කරන්නෙ, කෑමට පෙර මොකුත් නැති නිසා වෙන්න බැරිද?”
සභාවේ පොඩි සිනාවක් ගිය අතර ඉන් පසු කිසි වගකීමක් නැති නිකං මාධ්‍යවේදියා තමන්ගේ නිගමනය ඉදිරිපත් කළේ මෙසේය.
“මම නං හිතන්නෙ ඕක වෘත්තිමය ලැජ්ජාව “
” ඒ මොන ලැජ්ජාවක් ද?”
“එතුමාට තමන්ගෙම පොලිසිය ගැනයි ගැනයි,තනතුර ගැනයි ලොකු ලැජ්ජාවක් ඇති.”
” ඒ මොකටද?”
“ඇයි අනේ, එයානෙ තාම මේ රටේ පොලිස්පති .”
“ඉතිං?”
” ඉතිං කියන්නෙ, දවස් විස්සකුත් ගිහිං, තමන්ම භාර වෙන කල් ,තමන්ගේ පොලිස්පති හොයා ගන්ඩ බැරි පොලිසියක මෙච්චර කල් පොලිස්පති වෙලා හිටපු එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි ද? බත් නෙවෙයි, වහ කන්ඩ හිතිල ඇති…”
මාධ්‍යවේදියා කියාගෙන ගියේය.
“දේශබන්ධුට වුනත් ලැජ්ජාව කියල දෙයක් ගෑවිලා හරි ඇතිනෙ.!”
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!